Gossips

ඉල්ලීම් නොලැබුණහොත් වර්ජනයකට සූදානම්, වතු කම්කරු සංගම් කියයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී වතු කම්කරුවන් වර්ජනයක් දියත් කරන බව දහසේ ව්‍යාපාරය පවසනවා.
මේ අතර වතු වැටුප් ඉහල දමන ලෙස ඉල්ලා හැටන් – මල්ලිඅප්පුව මංසන්ධියේ ආරම්භ කරනු ලැබූ සත්‍යග්‍රහයට නායකත්වය ලබාදුන් සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති ශිව ශ්‍රී වේළු ෂර්මා පූජකවරයාගේ මෝටර් රථයට ඊයේ (03) රාත්‍රියේ කිසියම් පිරිසක් පහරදී අලාභහානි සිදුකර තිබෙනවා.
ඔහු කියා සිටියේ හැටන් – කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි තම නිවස ඉදිරිපිට මෝටර් රථය නවතා තිබියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අප කළ විමසීමකදී දිඹුලපතන පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
රුපියල් දහසක් දක්වා වැටුප වැඩි කරන ලෙස වතු කම්කරු වෘත්තිය සමිති මෙන්ම සිවිල් සංවිධාන අරගල කළද පසුගියදා අත්සන් කළ ගිවිසුුමේදී තීරණය කෙරුණේ එය රුපියල් 700 ක් ලෙසටයි.
කෙසේ වෙතත් එම ගිවිසුමට පසුව පාර්ශව ගණනාවකින් විරෝධය එල්ලවුණා.
එම පාර්ශව අතර, රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද වනවා.
ඔවුන් මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ සාර්ථක විසඳුමක් ලබා නොදෙන්නේ නම් අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට තමන් සූදානමින් සිටින බවයි.
මීට පෙර දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර, වතු කම්කරු වැටුප් වැඩිකිරීමේ ගිවිසුම ගැසට් කිරීම හෙට දිනය දක්වා කල් දැමීමට එහිදී තීරණය කෙරුණා.