Gossips

ඉල්ලා අස්වන්නැයි එජාපෙ නායකයින් අගමැතිට දැනුම්දීමට යයි

විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර තිබෙනවා.
සුවසිරිපායේ ඊයේ (27) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණයට එළඹි බවයි එම පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, රාවුෆ් හකීම්, පී දිගම්බරම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මෙම සාකච්ජාවට එක්ව සිට තිබෙනවා.
ඒ අනුව අදාල ඉල්ලීම සිදුකිරීම සඳහා ඉදිරි දිනකදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අග්‍රාමාත්‍යවරයා මුණ ගැසෙනු ඇති බවද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට රැස් වුණා.
රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට අදාළ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වූ බවයි.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ද හෙට පෙරවරු 9ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.
විශ්වාසභංගය සහ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට නොහැකිවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බව අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.