Gossips

ඉරණවිල දස හැවිරිදි දරුවාගේ ඝාතකයා පාපොච්චාරණයක

හලාවත – ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.
මුලතිව් – නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී අද (04) උදෑසන මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රදේශයට නාඳුනන පුද්ගලයෙකු පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි.
පසුගිය අඟහරුවාදා හලාවත – ඉරණවිල – මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනයට ලක් වූ දරුවාගේ සිරුර සොයා ගත්තා.
දෙමාපියන් විසින් දරුවා නොමැති බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය ඉරිදා දිනයේයි.
කිසියම් පුද්ගලයෙකු දරුවා රැගෙන යන අයුරු නගරයේ වෙළඳසැලක තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී තිබුණා.
එහිදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ අතර, ඔහු කුලියට පොල් කැඩීම සඳහා ඉරණවිල ප්‍රදේශයට පැමිණ ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.
අද උදෑසන අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට මුලතිව් පොලීසිය භාරයේ පසු වන අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඝාතනය සිදුකළ දිනයේදීම ප්‍රදේශයෙන් පලා ගිය බවයි.
ගිරවෙකු අල්ලා දෙන බව පවසා දරුවා රක්ෂිතයට රැගෙන ගොස් අපයෝජනයට ලක් කොට පසුව ඝාතනය කළ බවට සැකකරු පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සැකකරු හලාවත පොලීසිය වෙත අද රාත්‍රියේ භාර දීමට නියමිතයි.