Gossips

ඉරණවිලදී දරුවාගේ ඝාතකයා සොයා පරීක්ෂණ කණ්ඩායම් 4 ක්

හලාවත – ඉරණවිල ප්‍රදේශයේදී දස හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කර ඝාතනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් 04ක් පත්කර තිබෙනවා.
ඒ හලාවත ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේයි.
පොලිසිය පවසන්නේ කුලී රැකියාවල නිරත වන සැකකරුට ස්ථීර පදිංචියක් නොමැති වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවයි.
ඉරණවිල – මුවපිටිය රක්ෂිතයේ තිිබියදී පිරිමි දරුවෙකුගේ මල සිරුර සොයාගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.
පසුව හෙලි වූයේ මියගොස් ඇත්තේ දින දෙකකට පෙර අතුරුදන් වූ හලාවත – බටහිර සමිදුගම ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි සුසිත් නිර්මාල් නමැති දරුවා බවයි.
මේ අතර, දරුවා නිරන්තරයෙන් රැදී සිටින වෙලඳසැලක ආරක්ෂක කැමරාවක තවත් පුද්ගලයෙකු සමඟ රැදී සිටින අයුරු සටහන්ව තිබුණා.
එම සී.සී.ටී.වී. දර්ශණවල අදාල පුද්ගලයා විසින් මෙම දරුවාට යමක් ලබාදෙන අයුරුද දක්නට ලැබුණා.
මූලික පරීක්ෂණවලදී දස හැවිරිදි මෙම දරුවා අපයෝජනය කර ඝාතනය කර ඇති බවට සැකකළ හැකි සාධක පවතින බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
ඒ අනුවයි සී.සී.ටී.වී. දර්ශණවල දරුවා සමඟ සිටි කුලී රැකියාවල නිරත වන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත්තේ.
මියගිය දරුවාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේදී අද (28) සිදු කිරීමට නියමිතයි.