Gossips

ඉම්රාන් ඛාන්, අගමැති ධුරයේ දිවුරුම් දෙයි

පාකිස්තානයට 1992 ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දුන් නායකයා වූ ඉම්රාන් ඛාන් පාකිස්තානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.
ඉස්ලාමාබාද් නුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මම්නූන් හුසේන් ඉදිරියේ ඔහු දිවුරුම් දීමේ අවස්ථාවට දේශපාලනඥයන්, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
පසුගිය ජුලි 25 වන දා පැවති මැතිවරණයෙන් තේරී පත්වූ නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ පැවති ඡුන්දයෙන් ඔහුට මන්ත්‍රීවරුන් 176 දෙනෙකුගේ සහය හිමි වුණා.
ඔහුගේ ප්‍රතිවාදී පාකිස්තාන මුස්ලිම් ලීගයේ ෂබාස් ශරීෆ්ට හිමි වූයේ ඡන්ද 96ක් පමණයි.
ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ඉම්රාන් ඛාන් කියා සිටියේ වසර 22ක අරගලයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ තමා කිසිදු ආඥාදායකත්වයකට යටත් නොවන බවයි.
මේ අතර, ඉන්දීය ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන නව්ජෝත් සිං සිධු නව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා පාකිස්තානයට යාම පිළිබදව ඉන්දියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට සරදම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා.
ක්‍රිකට් ලෝකයේ සිය සගයන් ලෙස ඔහු සුනිල් ගවස්කාර් සහ කපිල් දේව්ට ද ඇරයුම් කළත් ඔවුන් ඒ සඳහා ගොස් නැහැ.