Gossips

ඉම්රාන් ඛාන්ට හිටපු ක්‍රීඩකයන්ගෙන් සුබ පැතුම් – පරාජිත පක්ෂ නව මැතිවරණයක් ඉල්ලයි

පාකිස්තාන මහමැතිවරණයෙන් ජය ගත් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ට ඔහුගේ ක්‍රීඩක දිවියේ මිතුරන් සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඉම්රාන් ඛාන්ගේ තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය ආසන 117ක් හිමි කරගෙන මැතිවරණය ජයග්‍රහණය කළ බව පාකිස්තාන මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කළා.
ඒ, ආසන 272කින් 268ක ප්‍රතිඵල නිකුත් වී තිබියදියි.
නවාස් ශරීෆ්ගේ මුස්ලිම් ලීගයට එහිදී ආසන 64ක් ද, බිලාවල් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂයට ආසන 43ක් ද හිමි වී තිබුණා.
ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ 1992 වසරේ පාකිස්තානය ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේදී ඔහුගේ සගයෙකු වූ වසීම් අක්‍රම් සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තානය ජ්‍යෙෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් වනු ඇති බවයි.
ඊට අමතරව වකාර් යූනිස්, රමේෂ් රාජා මෙන්ම ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩක සංජේ මංජ්රේකාර් ද ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක් කළා.
මේ අතර, මැතිවරණයෙන් පරාජය වූ ප්‍රධාන පක්ෂ එක්වී ඊයේ පැවැත්වූ සමුළුවකදී මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීමටත්, නව මැතිවරණයක් ඉල්ලා සිටීමටත් තීරණය කර තිබෙනවා.
නව මැතිවරණයක් පවත්වන තුරු විරෝධතාවල නිරතවීමට ද තීරණය කළ බවයි නවාස් ශරීෆ්ග්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය ප්‍රකාශ කළේ.