Gossips

ඉබි මස් ජාවාරමක නිරතවූ තිදෙනෙක් වනජීවී නිලධාරීන්ගේ දැලේ (ඡායාරූප)

ඉබ්බන් මරා මස් කිරීමේ ජාවාරමක නිරතවූ කණ්ඩායමක තිදෙනෙකු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිරියාගම වනජීවී කාර්යාලයට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සැකකරුවන් කලාවැව ජාතික උද්‍යාන මායිමේ පිහිටි හෙට්ටියාව ප්‍රදේශයේදී ගල් ඉබ්බන් දෙදෙනෙකු මරා මස් කරමින් සිටින අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස සමඟ ඉබි මස් තොගයක්, ඉබ්බන් දෙදෙනෙකුගේ කටු මෙන්ම ඉබ්බන්ගේ කුසේ තිබූ බිත්තර රැසක්ද සොයා ගැනීමට හැකිවූ බවයි ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් පොල්පිතිගම සහ මාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් සංචාරක වෙළඳාමේ නිරත වෙමින් රාත්‍රි කාලයේ ඉබ්බන් මරා මෙලෙස මස්කර ඇති බවයි හෙළිවී ඇත්තේ.
සැකකරුවන් ලබන සඳුදා (06) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ඡායාරූප – කැකිරාව, කුෂාන් ජයවර්ධන