Gossips

ඉන්ෆ්ලුවෙන්සා මරණ 20 දක්වා ඉහළට – සෙම් පටල පරීක්ෂාවට හොංකොං වෙත

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් මරණ 20ක් වාර්තා වී තිබෙනවා.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දැනට ළමා මරණ 14ක් සහ වැඩිහිටි මරණ 6ක් වාර්තා වී ඇති බවයි.
එමෙන්ම රෝගීන් 350කට අධික ප්‍රමාණයක් මේ වන විටත් දකුණු පළාතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි ඔහු කියා සිටියේ.
ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් දැනට අනාවරණ වී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ’ වෛරසය, රෝගයට හේතුව බවයි.
එය තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගෙන් ලබා ගත් සෙම් පටල පරීක්ෂාව සඳහා හොංකොං හි රසායනාගාරයක් වෙත යොමු කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මෙම වෛරසය වැළදුණු රෝගීන්ට එන්නත් ලබාදිය යුතු ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් මේ වන විට පත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ චෝදනා කළේ මෙම වෛරසය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
මේ අතර, ඉන්ෆ්ලූවෙන්සා වෛරස් උණ රෝගය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වන දා දක්වා තවත් දින 5ක කාලයක් වසා තැබීමට මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් සංවර්ධන සංගමය ඊයේ තීරණය කරනු ලැබුවා.