Gossips

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගැන තවමත් තීරණයක් නැහැ

ඉන්ෆ්ලුවෙන්සා වෛසරය පාලනය කිරීමට එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කමිටුවේ මෙතෙක් සිය නිර්දේශ ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ හේතුවෙන් අදාළ එන්නත් රජයේ රෝහල්වලට ලබාදීම ගැටළුසහගත වී ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මේ වන විට දකුණු පළාතේ පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 25ක් වාර්තා වී ඇති අතර, ඉන් 18ක් කුඩා ළමයින්.
පෙරේදා දිනයේත් මාස 4ක කුඩා දරුවෙකු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කරාපිටිය රෝහලේදී ජීවිතක්ෂයට පත්වුණා.
මේ වන විටත් දිනකට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදුණු රෝගීන් 60කට ආසන්න ප්‍රමාණයක් රෝහල් වෙත පැමිණෙන බවයි දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ.
එමෙන්ම සබරගමුව පළාතෙන් ද ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් කිහිප දෙනෙකු පසුගිය දා වාර්තා වුණා.
ඒ අනුව දිනකට රෝහල වෙත පැමිණෙන රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදුණු රෝගීන් බවයි සබරගමුව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අතුල කන්නංගර සඳහන් කළේ.