Gossips

ඉන්ධන මිල සූත්‍රය සති දෙකකින් කැබිනට් අනුමැතියට

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල තීරණය කෙරෙන ‘මිල සූත්‍රය’, ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ලෝක වෙළඳපොලේ තෙල් මිල උච්චාවචනයට අනුව මාස 2 කට හෝ 3 කට වරක් මිල වෙනස් කිරීමේ යෝජනා අදාළ මිල සූත්‍රයට ඇතුළත් බවයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
මීට පෙර ලංකා ඛනිජ තෙල් සංස්ථාව බදු අඩුකිරීමක් හෝ මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත්තේ මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහායි.
මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අතර මිල සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ වනවිට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14 ත් 16 ත් අතර ප්‍රමාණයක්, ඩීසල් ලීටරයකින් රුපියල් 6 ත් 9 ත් අතර ප්‍රමාණයක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 48 ක ප්‍රමාණයක පාඩුවක් සිදුවන බව ඔහු කියා සිටියා.
ඒ අනුව දිනකට මිලියන 38ක පාඩුවක් සිදුවන බවටයි අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේ.
එමෙන්ම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ කියා සිටියේ ඉන්ධන සඳහා වන වර්තමාන මිල තීරණය කෙරුණේ ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 40ක්ව පැවති අවස්ථාවේදී බවයි.
කෙසේ වෙතත්, වර්තමානයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70කට ආසන්න වී ඇති බැවින් සංස්ථාවට මෙලෙස විශාල පාඩුවක් දැරීමට සිදුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.
එලෙස සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන යාම ගැටළුකාරී තත්ත්වයක් බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ සඳහන් කළා.
ඒ හේතුවෙන් කඩිනමින් මිල සූත්‍රයක අවශ්‍යතාව පවතින බවද ඔහු අවධාරණය කරනවා.
ලංකා අයි.ඕ.සී. සමාගම පසුගියදා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමනු ලැබූ අතර ඉන් පසු සංස්ථා පිරවුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන්.