Gossips

ඉන්ධන මිල සූත්‍රය දිගටම, මිල තීරණයට සංස්ථාවට බලයක් නැහැ, රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා කියයි

ඉන්ධන මිල සූත්‍රය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළා.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළද ඊයේ (06) දහවල් සිට පැවති මිලට ඉන්ධන අලෙවි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
කෙසේ වෙතත් ලංකා අයි.ඕ.සී. සමාගම වැඩිකල මිලටම ඉන්ධන අලෙවි කරන බවයි ඊයේ ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් ඉන්ධන මිල තීරණය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බලයක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව ඉන්ධන මිල තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවට පිටින් ගොස් සංස්ථාව මිල අඩු කරන්නේ නම්, එහි පාඩුව සංස්ථාව විසින් භාරගත යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසන්නේ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් හේතුවෙන් සංස්ථාවට ඉදිරියටත් පාඩු ලැබීමට සිදුවන බවයි.
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ආනන්ද පාලිත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවේ තීරණය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා දැනුම්වත් නොකිරීමෙන් මෙම ගැටළුව පැන නැගී ඇති බවයි.
අයි.ඕ.සී. සමාගම වැඩිමිලට ඉන්ධන අලෙවි කරන බැවින්, සංස්ථාවද ඉදිරියේදී එම තීරණයට එළඹීමට බොහෝවිට ඉඩකඩ ඇති බවයි නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර කියා සිටියේ.
මුදල් අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.