Gossips

ඉන්ධන මිල සූත්‍රයට වෘත්තීය සමිතියකින් කොන්දේසි

නිවැරදි මිල සූත්‍රයක් නිර්මාණය කරන තුරු ඉන්ධන මිල ඉහළ නොදැමිය යුතු බව ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමය ප්‍රකාශ කළා.
කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ආනන්ද පාලිත කියා සිටියේ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම සිදුකළ යුත්තේ ජාත්‍යන්තර නිර්ණායකවලට අනුකූලව බවයි.
ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගියදා ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමත් සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38 ක අතිරේක පාඩුවක් සිදුවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්ද ඉහළ නැංවිය යුතු බවටයි ඔවුන් මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නේ.
ඒ අනුව ඉන්ධන සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත් අතර, එය මේ වනවිට අවසන් අදියරයේ පවතින බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
කෙසේ වෙතත් තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පසුගියදා ප්‍රකාශ කළේ.