Gossips

ඉන්ධන මිල ගැන අලුත්ම තීරණය අද

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද (11) දිනයේදී මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක් සිදු කෙරෙන නමුත් ඊයේ ඉරිදා දිනයක් වූ හෙයින් මිල සංශෝධනය අදට කල් දැමුණා.
ඉකුත් 10 වන දා ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කිරීමට ද මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.
එලෙස මිල ගණන් පහත දැමූ අවස්ථාවේදී ලෝක වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 59ක් ලෙසටයි.
එහෙත් පසුගිය කාලයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 64ක් ලෙස සටහන් වුණා.
වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු සම්බාධක පැනවීම සහ ඔපෙක් සංවිධානයේ රටවල නිෂ්පාදන කප්පාදුව මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.