Gossips

ඉන්ධන මිල ඉහළට – පස්වරුවේ සිටම පිරවුම්හල් අසල පෝලිම්

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ගණන් ඉහළ නැංවෙනවා.
ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ද හෙට සිට යළි ඉහළ නංවන බවයි ලංකා අයි. ඕ.සී. සමාගම හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
අයි. ඕ.සී ඉන්ධන මිල ගණන් මීට පෙර සංශෝධනය කෙරුණා.
ඊයේ (09) රාත්‍රියේ රජය ගත් තීරණයකට අනුව, රුපියල් 117 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 137 ක්.
රුපියල් 128 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 148 ක් වනු ඇති.
ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 14 කින්. ඒ අනුව රුපියල් 95 ක්ව පැවති ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 109 ක්.
එමෙන්ම, සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 9 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 119ක්.
මෙම සංශෝධනයේදී භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් ඉහළ නංවා තිබීම විශේෂත්වයක්.
මෙතෙක් භූමිතෙල් ලීටරයක් රුපියල් 44 කට අලෙවි වූ අතර, එහි නව මිල වන්නේ 101 ක්.
කෙසේ වෙතත්, කොළඹ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේ සමෘද්ධි සහනාධාර ලාභීන්ට සහ ධීවරයින්ට පෙර පැවති මිලටම භූමිතෙල් ලබා ගත හැකි බවයි.
එසේම, මිල සූත්‍රයක් සලකා බැලීමකින් තොරව මෙම ඉන්ධන මිල සංශෝධනය සිදුකළ බවද ඔහු කියා සිටියා.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා මිල සූත්‍රයක් අදාළ නොවන බව සදහන් කළත්, මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සදහන් කළේ ඉන්ධන මිල සූත්‍රය අනුව දෙමසකට වරක් ඉන්ධන මිල සංශෝධනය විය හැකි බවයි.
ඉන්ධන මිල ඉහළ දමන බවට ප්‍රකාශයට පත්වීමත් සමග කොළඹ නගරයේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට මේ වනවිට දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
පොලීසිය සදහන් කළේ මේ හේතුවෙන් ඇතැම් මාර්ගවල වාහන තදබදයක් ද හට ගත් බවයි.