Gossips

ඉන්දුනීසියවේ ගුවන් යානයක් හදිසියේම කටුනායකට ගොඩබස්සවයි

ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට ලක්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දී යානය තුළ හදිසියේම දුමාරයක් ඇතිවීම හේතුවෙන් යානය මෙලෙස හදිසියේ ගොඩබස්සවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන් අතුළු මගීන් 338ක් එහි සිට තිබෙනවා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් එහි සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන්.
ගුවන් යානය ඉන්දුනීසියාවේ බණ්ඩාචි ගුවන් තොටුපළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළ බලා පිටත්ව යමින් සිටියදීයි මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇත්තේ.
පසුව යානයේ පැමිණි මගීන් කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගුවන් යානය තුළ හදිසියේ හටගත් දුමාරය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගුවන් සේවා ඉංජිනේරුවන් විසින් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් ගුවන්තොටුපළ බලධාරීන් වැඩිදුරටත් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.