Gossips

ඉන්දීය සිරකරුවන් 360ක් නිදහස් කිරීමට පාකිස්තානය සූදානම්

තම බන්ධනාගාරවල පසුවන ඉන්දීය සිරකරුවන් 360 දෙනෙකු මේ මාසය තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව පාකිස්තානය පවසනවා.
එය දෙරට අතර සබදතා තවදුරටත් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙසයි සැලකෙන්නේ.
ඉන්දීය කාශ්මීරයේ සන්නද්ධ ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40 දෙනෙකු පසුගිය පෙබරවාරි 14 වන දා ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාව, පාකිස්තානය තුළ ගුවන් ප්‍රහාරයක් ද දියත් කළා.
එහිදී න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ දෙරට අතර යුද්ධයක් පැන නැගීමේ අවදානමක් ද ඇති වුණා.
කෙසේ නමුත්, තමන් බිම හෙළුෑ ඉන්දීය ප්‍රහාරක යානයක නියමුවෙකු පාකිස්තානය විසින් මුදා හැරීමෙන් පසු එම උණුසුම ක්‍රමයෙන් පහව යමින් පවතිනවා.
පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තම රටේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 355 දෙනෙකු සහ සිවිල් වැසියන් 5 දෙනෙකු මෙලෙස අප්‍රේල් 8 වන දා සිට කණ්ඩායම් 4ක් වශයෙන් මුදා හැරීමට පියවර ගන්නා බවයි.
දැනට පාකිස්තාන සිර භාරයේ පසුවන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව 537ක් වන අතර ඉන් 483 දෙනෙකුම ධීවරයන්.
ඉන්දීය සිරභාරයේ පසුවන පාකිස්තාන ජාතිකයන්ගේ සංඛ්‍යාව 347 දෙනෙකු වන අතර, ඉන් 249 දෙනෙකුම සිවිල් වැසියන් වනවා. ඉතිරි 98 දෙනා ධීවරයන්.