Gossips

ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වාර්තා පොත් අලුත් කරද්දී, අතේ තිබූ ජයග්‍රහණය අවසන් මොහොතේ බංගලියන් උදුරා ගනී

ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වාර්තා පොත් අලුත් කරද්දී, අතේ තිබූ ජයග්‍රහණය අවසන් මොහොතේ බංගලියන් උදුරා ගනී
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ තරඟවලදී ජය වාර්තා කිරිමට ඉන්දියාව සහ බංග්ලාදේශය ඊයේ (23) සමත්වුණා.
ඒ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් පරාජයට පත් කරමින්.
පාකිස්ථානයට එරෙහිව පැවති තරඟයේදී ඉන්දියාව ජය වාර්තා කළේ කඩුලු 9 කින්.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 237 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම එම සීමාව පසුකර ගියේ පන්දු වාර 39 යි පන්දු 3 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදියි.
එහිදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 111 සහ ශිකර් ධවාන් ලකුණු 114ක් රැස්කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 210 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා.
පාකිස්ථානයට එරෙහිව ඉන්දීයානු කණ්ඩායම එක්දින තරඟයකදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු ඉහළම සම්බන්ධතාවය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනවා.
මේ අතර ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (23) පැවති අනෙක් තරගය බංග්ලාදේශයේ ජයගත්තේ ලකුණු 03කින්.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 249 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 246 ක් පමණයි.
අවසන් පන්දුවාර 03 දී දක්ෂ පිතිහරඹයක නියැලුණු ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 08 ක ඉලක්කයක් හිමිවුණා.
තරඟයේ අවසන් පන්දුවාරය යැවු මුස්ටෆිසුර් රෙහෙමාන් ඇෆ්ගන් පිතිකරුවන්ට ලකුණු 5 ක් පමණක් ලබාදෙමින් බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක් හිමිකර දුන්නා.