Gossips

ඉන්දීය ජාතිකයාගෙන් පැය 03 ක ප්‍රකාශයක් – නාලක අදත් රහස් පොලිසියේ

ඉන්දියානු රජයේ උපදෙස් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව ඝාතනය කිරිමට සිව් වතාවක් උත්සාහ කළ බව එම දෙපාර්තමේන්තුව භාරයේ සිටින ඉන්දීය ජාතිකයා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළා.
ජනපති ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොහු දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ වරකාපොල නිවසේදීයි අත්අඩංගුවට ගැනුනේ.
මේ අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර සිදුවු දුරකථන සංවාද ඔවුන්ගේ කටහඬ සමග සැසදෙන බව රජයේ රස පරික්ෂකවරයා අද අධිකරණයට තහවුරු කළා.
මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැඳවු අවස්ථාවේදී රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර සිදුවු දුරකථන සංවාද 124 න් 123 ක් ඔවුන්ගේ කටහඬ සමග සැසදෙන බවයි එහි දක්වා තිබුණේ. ඉන්, වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් හඬ පට නාමල් කුමාර සිය ජංගම දුරකථනයෙන් මකා දමා ඇති නිසා ඒවා යළි ලබා ගැනීමට ජාත්‍යන්තර සහය අවශ්‍ය බවයි.
ඊට අවසර ලබා දුන් අධිකරණය හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නිල පරිගණකය, පෞද්ගලික ජංගම දුරකථනය සහ ඔහු ලබාදුන් දුරකථන සංවාද ඇතුලත් සී.ඞී. තැටියක්ද රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නාලක ද සිල්වා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හරහා රසිකා සංජිවනි නැමැති ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් මාර්ගයෙන් පැවැත්වු විවිධ සංවාද සම්බන්ධයෙන් අදාළ රස පරික්ෂණයේදී අවධානය යොමුවිය යුතු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින ඉන්දීය ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහු සම්බන්ධයෙන් කැඳවු මානසික වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නොමැති බවයි.
නඩුව අවසන් කිරිමට මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සුදානම් වනවාත් සමගම එම ඉන්දීය ජාතිකයා විත්ති කුඩුවේ සිට ප්‍රකාශයක් සිදු කළා.
ඔහු පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව ඝාතනය කිරිමට සිව් වතාවක් උත්සාහ කළ බවයි.
එම දෙපාර්තමේන්තුව භාරයේ සිටි දින 34 තුළ ඔවුන් තමන්ට වස සහිත ආහාර ලබාදුන් බවද, මෙම ඉන්දීය ජාතිකයා කියා සිටියා.
ඒ, සම්බන්ධයෙන් සියළු විස්තර ලිඛිතව ලබාදීමට ඔහු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය ඉඩදුන්, අතර නඩුව යලි කැඳවුණේ පැය 03 කට ආසන්න කාලයකින් පසුවයි.
පිටු 20 කින් සමන්විත ඉන්දීය ජාතිකයාගේ ප්‍රකාශයේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකරවයා වෙත ලබාදීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රකාශ කළේ අදාළ ඉන්දීය ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින බැවින් එය වෙනස් කිරිමට තමන්ට බලයක් නොමැති බවයි.
ඊට විරුද්ධ වෙමින් විත්ති කුඩුවේ සිට කෑ ගැසූ ඉන්දීය ජාතිකයා ඉල්ලා සිටියේ සිය ප්‍රකාශය ජනාධිපතිවරයාට ලබාදෙන ලෙසයි.
නීතියට අනුව කටයුතු කර ඇති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුව අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට පමුණුවා එළඹෙන 21 ක් වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
මේ අතර, වැඩ තහනමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා 04 වන දිනටත් අද පස්වරු 1 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එමෙන්ම අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරන අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.