Gossips

ඉන්දියාව සමඟ ගැටළුවක් නැහැ – අගමැති

මෝදි අග්‍රාමාත්‍යවරයා හෝ ඉන්දීය රජය පිළිබද කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමන් තුළ සහ ශ්‍රී ලංකාවාසීන් තුළ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ නවදිල්ලි නුවර ඊයේ (20) පැවැති ද්වි පාර්ශවික සාකච්ඡා අතරතුරයි.
එවැනි වැරදි වැටහීමක් ඇති වීමට කිසියම් හෝ හේතුවක් මුල් වූයේ නම් ඒ පිළිබදව කණගාටුව පළ කරන බවයි ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගයට ස්තූතිය පළ කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඒකාබද්ධ ව්‍යාපෘති ප්‍රමාදවීම සම්බන්ධයෙන් තමාගේ දැඩි සැලකිල්ල යොමු වී ඇති බවත්, ඒවා කඩිනම් කරලීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.
ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම සම්බන්ධයෙන් තමන් කත්මණ්ඩු නුවර දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කළ සාකච්ඡාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූලව සියළු කාර්යයන් සිදුකිරීම පිළිබදව අදහස් හුවමාරු කර ගත් බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.
දෙරටේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු බවට පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ විදේශ මැදිහත්වීම් පිළිබද දැඩි අවදානයක් යොමු කරලීමේ අවශ්‍යතාවක් පවතින බවයි.
ඊට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව කිසිවිටෙකත් ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවක් සිය භූමිය තුළ සිදුකිරීමට ඉඩ නොදෙන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව දෙරට අතර හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී ඇති ප්‍රමාදය පිළිබදව තමන් කණගාටු වන බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබුණා.
මේ අතර, තුන් දින නිළ සංචාරය නිමවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දුත පිරිස ඊයේ (20) රාත්‍රියේ දිවයිනට පැමිණියා.