පාකිස්ථානය විසින් වෙඩි තබා බිම හෙළන ලද සිය ජෙට් යානයේ සිටි නියමුවා ආරක්ෂා සහිතව තමන් වෙත භාරදීමට පියවර ගන්නා ලෙස ඉන්දියාව, පාකිස්ථානයට දැනුම්දී තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, එරට සිටින පාකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හරහා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දෑස් බැඳ ලෙයින් නැහැවුණු මෙම නියමුවාගේ වීඩියෝවක් පාකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කළ අතර, ඉන්දියාව ප්‍රකාශ කළේ මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියට සහ ජිනීවා සම්මුතියට පටහැනි බවයි.
කෙසේ වෙතත් මෙම නියමුවා වීරයෙකු ලෙස හඳුන්වමින් ඉන්දියානුවන් ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වමින් සිටිනවා.
මේ අතර පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන වසීම් අක්‍රම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව තමන් දැඩි කණගාටුවට පත්ව සිටින බවයි.
ඉන්දියාව සහ පාකිස්ථානය සතුරන් නොවන බවත්, දෙරටේම සතුරා ත්‍රස්තවාදීන් බවත්, ඔහු එමඟින් පෙන්වා දුන්නා.
එය දෙරට විසින්ම තේරුම් ගත යුතු බව ප්‍රකාශ කළ වසීම් අක්‍රම්, එසේ නොවුනහොත් ලේ වැගිරවීමක් ඉදිරියේදී සිදුවිය හැකි බවයි පෙන්වා දී ඇත්තේ.
