Gossips

ඉන්දියාව පරදා ඕස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක්

ඉන්දියාව සමඟ ඊයේ පැවති තුන්වන එක්දින තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඔවුන් මෙම තරඟය ජය ගත්තේ ලකුණු 32කින්.
ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 05ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 313ක්.
එහිදී ආරොන් ෆින්ච් සහ උස්මාන් කවාජා ඕස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර එහිදී ආරොන් ෆින්ච් පන්දු 99ක් තුල ලකුණු 93ක් රැස් කළා.
සිය පළමු ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කළ කවාජා පන්දු 113ක දී අගනා ලකුණු 104ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 47ක් රැස් කළේ පන්දු 31ක් තුල හයේ පහර සහ හතරේ පහර 03 බැගින් එල්ල කරමින්.
මැක්ස්වෙල්ගේ දැවියාමෙන් පසු මාකස් ස්ටෝයින්ස් සහ ඇලෙක් කේරි සුපිරි පිති හරඹයක නිරත වෙමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 300 සීමාව දක්වා ඉහළට රැගෙන යාමට කටයුතු කළා.
පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් කඩුලු 03ක් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 48යි පන්දු 02ක් තුල සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 281ක් පමණයි.
එහිදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තනිව සටනක නිරත වූ නායක විරාත් කෝලි පන්දු 95ක් තුල ලකුණු 123ක් රැස් කළා.
කෝලි ඊයේ වාර්තා කළේ සිය 41වන එක්දින ශතකයයි.
පන්දු යැවීමේදී පැට් කමින්ස්, ඇඩම් සම්පා සහ ජේ රිචඩ්සන් ඉන්දීය කඩුලු 03 බැගින් බිඳ දැමුවා.
රංචි හිදී පැවති තුන්වන තරඟය මෙලෙස ඕස්ට්‍රේලියාව ජය ගන්නා විට තරඟ 05කින් සමන්විත එක් දින තරඟාවලිය තරඟ 02ට එකක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවනවා.