Gossips

ඉන්දියාව ඕස්ට්‍රේලියාවේදී ඉතිහාසය වෙනස් කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ඕස්ට්‍රේලියාව අතර පැවැති 4 වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (31) අවසන් වුණා.
තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව ප්‍රථමව තීරණය කළේ පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ඉන්දීය පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 622ක් රැස් කර ගත්තා.
එහිදී චේතීශ්වේෂ් පුජාරා ලකුණු 193ක් හා රිශාබ් පාන්ට් ලකුණු 159ක් වාර්තා කළා.
ලකුණු 622ක් දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 300ක් පමණි.
ඕස්ට්‍රේලියාවේ පළමු ඉනිමේදී සාර්ථක වූ එකම පිතිකරුවා වුයේ ආරම්භක පිතිකරු වූ මාර්කස් හැරිස් පමණයි.
එහිදී ඔහු ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 322ක් පසුකර යාමට තිබුණා.
පස්වන දිනය වූ අද දිනයේ උදෑසන සිට ක්‍රීඩාංගනයට දැඩි වර්ෂාවක් ඇදහැලිම හේතුවෙන් විනිසුරුවන් තීරණය කළේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමටයි.
ඒ වන විට ඕස්ට්‍රෙලියාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයාගේ සම්මානය චේතීශ්වේෂ් පුජාරා දිනාගත්තා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරගාවලිය 2 – 1 ක් ලෙස ජයගනු ලැබූ අතර ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ඉතිහාසයේ ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනවා.