Gossips

ඉන්දියාවෙන් ලංකාවට බලපෑම් නෑ – හිටපු ජනපති

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට ඉන්දියාව බලපෑම් නොකරනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
සිය ඉන්දීය සංචාරය අතරතුර එරට රූපවාහිණි ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම, තම සහෝදරයා මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘‘හින්දු’’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණා.
ජනතාවට අවශ්‍ය අපේක්ෂකයා පක්ෂය විසින් තීරණය කරනු ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
‘‘හින්දු’’ පුවත්පතේ මාධ්‍යවේදීයා එහිදී 2019 වසරේ පැවැත්වෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන්නේ කවුරුන්ද යන්න විමසා ඇති අතර, ඊට පිළිතුර ලෙස හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ එම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් නායකත්වය ලබාදෙන බවයි.
ධූර කාල දෙකක් සම්පූර්ණ කර ඇති බැවින් එය 19 වන සංශෝධනයට අනුව සීමාවක්ද යන්නත් මාධ්‍යවේදීයා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළා.
ඊට ප්‍රතිචාර ලෙස හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 19 වන සංශෝධනය ක්‍රියාත්මක වුවද තමන්ට තරඟ කළ හැකි බවට පළ වන මත සම්බන්ධයෙන් අධිකරණයට යා යුතු බවයි.
කෙසේ වෙතත්, එම අවදානම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙනවා.
සියලූ දෙනා පිළිගන්නා අපේක්ෂකයෙක් නම් කිරීම හිටපු ජනාධිපතිවරයාගේ තවත් විකල්පයක්. එහිදී ‘‘හින්දු’’ මාධ්‍යවේදීයා විමසන්නේ එම අපේක්ෂකයා පවුලේ සාමාජිකයෙක්ද නැතහොත් වෙනත් අයෙක්ද යන්නයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වයස් සීමාව 35 දක්වා ඉහල නැංවීම හේතුවෙන් තම පුත් නාමල් රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස සලකා බැලිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු වැඩිදුරටත් එහිදී පෙන්වා දෙන්නේ තම සහෝදරයා නිශ්චිතවම තරඟකරුවෙකු වූවත්, ජනතාවට අවශ්‍ය කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ පක්ෂය හෝ සන්ධානය බවයි.