ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක අද (06) සමත් වුණා.
ඒ කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ කිලෝග්‍රෑම් 297 ක් ඔසවමින්.
ඒ අනුව, ශ්‍රී ලංකාව මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පළමු දිනය තුලදීම පදක්කම් සටහනේ නම සටහන් කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ ඊයේ (05) පැවති බර එසවීමේ තරඟ බිමේ දස්කම් දක්වමින්.
පිරිමි කිලෝග්‍රෑම් 56 බර පන්තියෙන් තරග කළ චතුරංග ලක්මාල් ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 114 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 134 ක් ලෙස කිලෝග්‍රෑම් 248 ක මුළු බරක් ඔසවමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ලෝකඩ පදක්කම් දිනා ගන්නට දිනූෂා ගෝමස් සමත් වුණේ කාන්තා බර එසවීමේ ඉසව්ව සඳහා කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ තරඟ කරමින්.
දිනූෂා ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 70 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 85 ක් ලෙස කිලෝග්‍රෑම් 155 ක සමස්ත දක්ෂතාවක් සටහන් කරන්නට සමත් වුණා.