Gossips

ඉදි කිරීම් සඳහා ගල්, වැලි, පස් සුදුසු ස්ථානවලින් ලබාගැනීමට තහනමක් නොමැති බව ජනපති කියයි

ඉදිකිරීම් සදහා අවශ්‍ය ගල්, වැලි සහ පස් ලබාගැනීමේ බලපත්‍ර එකම ස්ථානයකින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග පිළිබද අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
ගල්, වැලි සහ පස් සදහා බලපත්‍ර ලබාදීම රජය නවතා දමා ඇති බවට ගෙන යන ප්‍රචාර වැරදි මතයක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එහෙත් ගල්, වැලි සහ පස් ලබාගැනීමේදී ජාවාරම්කාර ව්‍යාපාරිකයින් විසින් සිදුකරන අක්‍රමිකතා මැඩලීමට රජය පසුගිය සමයේ තීරණ කිහිපයකට එළැඹුණු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා අවශ්‍ය ගල්, වැලි සහ පස් සුදුසු ස්ථානවලින් ලබාගැනීම පිළිබද කිසිදු තහනමක් පනවා නොමැති බව ද ඔහු කියාසිටියා.
එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා අවශ්‍ය වැලි, ගල් සහ පස් ලබාගැනීමේදී අතරමැදියන්ගෙන් තොරව ඒවා ලබාගැනීම සදහා අදාළ ආයතන වෙතම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
ඉදිකිරීම් සදහා අවශ්‍ය වැලි ගංගාවලින් සපයා ගැනීමේදී සිදුවන විශාල පරිසර හානිය පිළිබදව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු වී තිබෙනවා.
ගංගාවල වැලි භාවිතය අඩු කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා මුහුදු වැලි භාවිතය ප්‍රචලිත කිරීම හා මුහුදු වැලි සකස් කිරීමට පෞද්ගලික ආයෝජන දිරි ගැන්වීම පිළිබදව ද අවධානය යොමුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.