Gossips

ඉදිරි පැය 7 තුල අකුණු සහ ගිගුරුම් සහිත තද වැසි

ඉදිරි පැය 7 තුල බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ගිගුරුම් සහිත තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම එම පළාත්වල ප්‍රභල අකුණු සමග ගිගුරුම් ද ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු වනවා.
ගිගුරුම් සහිත තද වැසි සමග පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකියි.
මේ හේතුවෙන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසටයි දැනුම් දෙන්නේ.
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැලකිය යුතු අතර තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි.