Gossips

ඉදිරි පැය 6 ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඉදිරි පැය 6 ක පමණ කාලය තුල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද ඔවුන් දැනුම්දෙනවා.
ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් ද වැලකිය යුතුයි.
එමෙන්ම අකුණු සහ ගිගුරුම් සහිත අවස්ථාවල බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකිය යුතු වනවා.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.