Gossips

ඉදිරි පැය 48 ධීවර කටයුතු අවදානම්

දිවයිනට බස්නාහිර, දකුණ, ගිණිකොන සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට වැඩි හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් ඉදිරි පැය 48 තුල ධීවර ප්‍රජාව මෙම ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීමෙන් වලකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කර ඇත්තේ.
මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසට ද ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
මේ අතර දිවයින ආසන්නයේ පැවති තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්වයක් බවට පත්ව ඇති අතර එය තවදුරටත් වර්ධනය වනු ඇති බව ද ඔවුන් සඳහන් කළා.
එය මේ වන විට දිවයිනට දකුණු දෙසින් ස්ථානගතව ඇති අතර වයඹ දෙසට බරව බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.
උතුර, උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක් 60 ක් දක්වා තද සුළං බලාපොරොත්තු විය හැකියි.
දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇති වනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.