Gossips

ඉදිරි පැය 36 ධීවරයින්ට අනතුරුදායකයි

මන්නාරම සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ ඉදිරි පැය 36 ක කාලය තුළ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයත් සමග සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඇති අවදානම හේතුවෙන්.
දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වය මේ වනවිට දිවයිනට දකුණු දෙසින් පවතින අතර, එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ විශේෂ මාධ්‍ය හමුවක් ද කැදවා තිබුණා.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා කියා සිටියේ ධීවර ප්‍රජාව පවතින කාලගුණ තත්ත්වය පිළිබදව විමසිලිමත්ව සිටිය යුතු බවයි.
මේ අතර, ඊයේ සහ අද යන දෙදින තුළ දිවයිනේ පළාත් කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
මධ්‍යම කදුකරයට ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා කාලය තුළ කඩින් කඩ වැසි ඇති වන බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ජලාශ ආශ්‍රිතව ප්‍රමාණවත් වර්ෂාපතනයක් වාර්තා වී නොමැති බවටයි ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළේ.
මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කය හා ඒ අවට ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10ම අද අඩි දෙක බැගින් විවෘත කෙරුණා.
ඒ සමග තත්ත්පරයකට ඝණ අඩි 2700 ක ජල ධාරිතාවක් අඹන් ගගට මුදා හැරෙන බැවින් මහවැලි ගග දෙපස පහත් බිම් වල වෙසෙන ජනතාව විමසිලිමත් වන ලෙස පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය ඉල්ලීමක් කළා.