දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
හෙට දිනයේදී සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගත වූ පැය 24 තුලදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ මහඉලූප්පල්ලම ප්‍රදේශයෙන්.
ඒ, මිලිමීටර් 105.4ක්.
එමෙන්ම මධ්‍යම, සබරගමුව, වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම, අනුරාධපුර, ගාල්ල, මාතර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඉදිරි පැය කිහිපය තුළ පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලට ගොඩබැස්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා.
මෙම යානය මලයාසියාවේ – ක්වාලාලම්පූර් සිට පැමිණ ඇති බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.
මේ අතර පසුගිය දින කිහිපය තුල අකුණු අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් ආසන්නතම අනතුර ඊයේ පස්වරුවේ වාර්තා වුණේ පරසන්ගස්වැව, ගෝනෑව ප්‍රදේශයෙන්. නිවසක මුළුතැන්ගෙයි සිටි පිරිසකට මෙහිදී අකුණුසැර වැදී තිබූ අතර, ඉන් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර, පසුගිය දින කිහිපය තුළ කුරුණෑගල – ගිරිබාව, යාපනයේ – චුන්නාක්කම් සහ මුලතිව් – විශ්වමඩු යන ප්‍රදේශවල සිදුවූ අකුණුසැර වැදීම් වලින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී ජනතාව ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි.
ගත වූ දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය තද සුළං නිසා නිවාස 161 කට හානි සිදුව ඇති අතර, ඉන් වැඩිම හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
එහිදී නිවාස 123කට හානි සිදුව තිබෙනවා.
එසේම, අනුරාධපුර – මරදන්කඩවල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ පැය භාගයක පමණ කාලයක් දැඩි සුළඟත් සමග අයිස් වැස්සක් ඇද හැලී ඇති බවයි වාර්තා වුණේ.