Gossips

ඉදිරි දේශපාලන තත්ත්වය ගැන ඒකාබද්ධයේ නායකයන් අතර හමුවක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනතාවගේ පාර්ශවයේ සිට පැහැදිළි තීන්දුවක් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන් කළේ විශ්වසභංග යෝජනාව මගින් ඉදිරිපත් කර ඇති කරුණුවලට ජනතාවාදී පක්ෂයක් ලෙස විරුද්ධවීමේ හැකියාවක් නොමැති බවයි.
පළාත්පාලන මැතිවරණ පරාජයෙන් පසු නව වැඩපිළිවෙලක් සඳහා යොමුවෙමින් සිටියදී මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.
රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදියි.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීමෙන් පසු රටේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ ගත යුතු තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය අනිද්දා රැස්වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම හමුව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලූ නායකයන් එක්වන බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව හෙට ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
එය ජන මතයට අනුකූලව සිදුකිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියා.
දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය සහ අමාත්‍ය මනොා් ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අවසන් තීරණයද ඉදිරි පැය 48 තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.