Gossips

ඉදිරි දින කිහිපය තුළ පැහැදිලි වෙනසක් – ජනපති

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළ බවයි ඊට සහභාගි වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණා.
එහිදී මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අදහස් හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේදී මේ වනවිට පැවැත්වෙනවා.
ඊට අමාත්‍යවරුන් වන සාගල රත්නායක, පාඨලී චම්පික රණවක, එස්.බී.නාවින්න ඇතුළු කණ්ඩායමක් පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව ද වාර්තා වනවා.
එහිදී ද දේශපාලන වශයෙන් වැදගත් වන තීන්දු තීරණ කිහිපයකට එළඹීමට නියමිත බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇගවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ පසුගිය කාලසීමාව තුළ ඉටු කිරීමට නොහැකි වූ අසාර්ථක තත්ත්වයන් පවතින බවයි.
මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11 ක බලය පිහිටුවීම සදහා ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමට තීරණය කර තිබෙනවා.
කම්කරු කොංග්‍රසයේ මහලේකම් ආරුමුගම් තොණ්ඩමන් හැටන් නගරයේ අද පැවති පිළිගැනීමේ උත්සවයකට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක ද එක්ව සිටියා.
එමෙන්ම, හැටන් – දික්ඔය නගර සභාවේ හා නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුර ලංකා කම්කරු කොංග්‍රසයටත්, උප සභාපති ධුර පොදුජන පෙරමුණටත් ලබාදීම සදහා දෙපාර්ශවයේම එකගත්වයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු සදහන් කළා.
එමෙන්ම, පලාගල ප්‍රාදේශීය සභාවේ දඹුලූහල්මිල්ලවැව කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම නිසා එම කොට්ඨාශයේ මන්ත්‍රීවරයා තෝරා පත් කර ගැනීම සදහා කාසියේ වාසිය උරගා බලා තිබෙනවා.