Gossips

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩිවේ – ධීවර ප්‍රජාවටත් අනතුරු ඇගවීමක්

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වය වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වලටත්, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකියි.
පවතින අධික වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8 ක් අඩිය බැගින් අද විවෘත කෙරුණා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නුවරවැව, මහවිලච්චිය, නාච්චාදුව, රාජාංගණය, දැදුරුඔය සහ තබ්බෝව යන ජලාශවලද වාන් දොරටු තවමත් විවෘතව පවතින බවයි.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආරච්චිකට්ටුව – මයියාව ජලාශයේ පිටවාන කැඞී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වන විට යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව වැලි කොට්ට යොදා එය තාවකාලිකව පිළිසකර කරමින් සිටින බවයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ධීවර ප්‍රජාව වෙත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ දැනුම් දීමක් සිදුකරනවා.
ඒ අනුව නිරිතදිග සහ මන්නාරම බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින් අද රාත්‍රියට පෙර වහාම ගොඩබිම කරා පැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.