Gossips

ඉදිරි දින කිහිපයේත් වැසි – ගාල්ල, කළුතර මාර්ග යටවේ, නිවාස රැසකටත් හානි (ඡායාරූප)

පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (13) පෙරවරු 8.30න් අවසන් වු පැය 24ක කාලය තුල මිලිමීටර් 166.1 වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයටත්, මිලි මිටර් 65.3 ක වර්ෂාපතනයක් කොළඹ ප්‍රදේශයටත් මිලිමීටර් 83.83 වර්ෂාපතනයක් කුකුලේගඟ ආශ්‍රිත ප්‍රදේශවලටත් වාර්තාවී ඇති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුනු වර්ෂාවත් සමඟ ජල ගැලීම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් නිවාස 30කට පමණ හානි සිදුවී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (12) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙලෙස මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි.
එමෙන්ම ගල් පෙරළීම හේතුවෙන් පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ලවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම පැවති අධික වර්ෂාව හේතුවෙන් පින්දෙණිය ප්‍රදේශයේදී වතු නිවාස පෙළක් මතට ඊයේ පස්වරුවේ ගසක් කඩාවැටීමෙන් නිවාස 08 කට හානි වී තිබුණා.
එහිදී තුවාල ලැබූ ගැහැණු ළමයින් දෙදෙනෙකු පින්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එම නිවෙස්වල සිටි පුද්ගලයින් 45 දෙනෙකු තාවකාලිකව වෙනත් ස්ථානයකට යොමුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඡායාරූප – අලුත්ගම, තුසිත කුමාර / ගාල්ල, සුමතිපාල දීයගහගේ