Gossips

ඉදිරි දින කිහිපයේත් තද වැසි

ඉදිරි දින කිහිපයේත් පළාත් රැසකට සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද (10) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ යටියන්තොට ප්‍රදේශයෙන්.
ඒ, මිලිමීටර් 106.8ක් ලෙසයි.
එමෙන්ම වැසි තත්ත්වය විනාඩි 45ක් හෝ පැය එකහමාරක කාලයක් පැවතිය හැකි අතර, ඉන් පසු යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.
මේ අතර, ඇදහැලෙන වැසි හේතුවෙන් රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කෙරුණු නායයෑමේ අනතුරු ඇඟවීම අද (10) පස්වරු 6 දක්වා ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, මේ දිනවල දෘශ්‍ය ලෙස ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා ගමන් කරන බැවින් අද දහවල් කාලයේ කල්කුඩා, වැලිකන්ද, පොළොන්නරුව, අඹන්පොළ සහ මදුරන්කුලිය යන නගරවලට සූර්යයා මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
නෙලූව – බටුවන්ගල ප්‍රදේශයට ඊයේ (09) පස්වරුවේ හැලූණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක වහලය ගැලවී ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ වර්ෂාවත් සමඟ දැඩි සුළං තත්ත්වයක් ද පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ හේතුවෙන් එම කර්මාන්තශාලාවේ තේ නිෂ්පාදන අංශයේ ගබඩා කර තිබූ තේ තොගයක් ද විනාශ වී ඇති බව සඳහන්.