Gossips

ඉදිරියේදී මැතිවරණ වර්ෂයක් – සූදානම් වන්නැයි ජනපතිගෙන් උපදෙස්

මැතිවරණ වසරක් සඳහා සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්ෂ ප්‍රති සංවිධාන කටයුතු සිදුකරන ලෙසයි ජනාධිපතිවරයා අද ජනපති මැදුරේ පැවති නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ අනුව පුළුල් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූ බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ද මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිළ නිවසේ රැස්වුණා.
එහිදී ද වාමාංශික, ප්‍රගතිශීලී බලවේග සියල්ල ඒකරාශී කර ගත් නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා සන්ධානයේ සාමාජික පක්ෂ වෙත දැනුම් දී ඇත්තේ.
එම සාකච්ඡාවෙන් අනතුරුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුව පැවැත්වුණේ.