Gossips

ඉතිහාසය වෙනස් කරමින් මහනුවර අයවැය එජාපය පරදියි

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහා නගර සභාවේ 2019 අයවැය පළමු වර කියවීම වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා.
නගරාධිපති කේසර දහම්ගොඩ සේනානායක විසින් අය වැය පළමුවර කියවීම සභාවට ඉදිරිපත් තළ අතර ඡන්දය විමසීම විවෘතව සිදුකළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය පළකර අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනා සහ මනෝ ගනේශන් නායකත්වය දරණ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව, මහනුවර මහ නගර සභාවේ 2019 අයවැය පළමු වර නැවත කියවීමට පක්ෂව ඡන්ද 20ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවුණා.
එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 19ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 16ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරු 03ක්, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරු 02ක් සහ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයට එක් මන්ත්‍රීවරයෙක් වශයෙන් මන්ත්‍රීවරු 41ක පිරිසක් මහනුවර මහා නගර සභාව නියෝජනය කරනු ලබනවා.
මහනුවර මහා නගර සභා ඉතිහාසයේ පාලක එක්සත් ජාතික පක්ෂය අයවැයක් පරාජයට පත් වුයේ පළමු වරටයි.