Gossips

ඇලෝසියස් සහ පලිසේන ලබන 16 දක්වා යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.
අද උදෑසන 9යි 15ට පමණ මොවුන් බන්ධනාගාර බස් රථයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියට රැගෙන එනු ලැබූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේම කොටුව මහෙස්ත්‍රාත්වරියගේ නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඒ අනුවයි ඔවුන් අද යලි මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.
අර්ජුන් ඇලෝසියස්, කොල්ලූපිටිය – මල් පාරේ පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ අත්අඩංගුවට ගැණුනු අතර කසුන් පලිසේනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත – අර්තුසා පාරේ පිහිටි ඔහුගේ නිවසේදියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඒමෙන් පසු ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුවයි ඊයේ රාත්‍රියේ කොටුව මහේ්ස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණේ.
කෙසේ වෙතත් අද පෙරවරුවේ මොවුන් යලි මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, සිය සේවාදායකයන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.
ඊට අදාලව ලිඛිත කරුණු දක්වන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
දින දෙකක් ඇතුළත අදාල ලිඛිත ඉල්ලීම සිදුකරන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව මෙම නඩුව මේ මස 07 වනදා යළි කැඳවනු ඇති.