Gossips

ඇලෝසියස්ගේ සිරමැදිරියෙන් සොයා ගත් සිම්පත්වල විවිධ අපරාධ ගැන තොරතුරු

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ සිරමැදිරිය තුළ තිබී සොයා ගත් සිම්කාඩ් පත් වල දත්ත විශ්ලේෂණ වාර්තා සලකා බැලීමේදී විවිධ අපරාධ වලට සම්බන්ධ තොරතුරු අනාවරණ වෙමින් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නේ අදාළ සිම්කාඩ් පිළිබද විධිමත් පරීක්ෂණයක් පවත්වා එම කරුණු නියමිත අධිකරණවලට වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කර ඇති පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, මහබැංකු බැදුම්කර වෙන්දේසි වලදී නියමිත මධ්‍යම තැන්පතු ක්‍රමය අනුගමනය නොකර නීති විරෝධී අයුරින් ගණුදෙනු කර ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ හරහා එම සමාගම මුදල් පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර සදහන් කළේ.
ප්‍රශ්ණගත බැදුම්කර වෙන්දේසියේදී උපයා ගත් මුදල්, රහස්‍ය තොරතුරු ලබාදීමට ආධාර අනුබල දුන් තුන්වන පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරිපත් කරන ලෙස පර්පෙචුවල් සමාගමට අනුබද්ධ සමාගම් 5 කට නියෝග කර ඇතත්, එම සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ද මෙහිදී අනාවරණය වුණා.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක එහිදී දැනුම් දුන්නේ අධිකරණය ලබා ගත් සෝදිසි වරෙන්තු අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ලිපිලේඛන හා පරිගණක ඔවුන් භාරයට ගෙන ඇති බවයි.
ඒ හේතුවෙන් අදාළ තොරතුරු ලබාදීමේ අපහසුතාවක් පවතින බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ මේ වනවිට පවතින්නේ කාපට්, පුටු, සහ මේස පමණක් බවත්, සේවකයින්ට වැටුප් ලබාදීමට මුදල් නොමැති බැවින් ඔවුන් සේවයට වාර්තා නොකරන බවත්, නීතිඥවරයා සදහන් කළා.
මේ අතර, ප්‍රශ්ණගත බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන මස 2 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.