Gossips

ඇලෝසියස්ගේ බදු වංචාවක් ජවිපෙ, මැතිසබයේදී හෙළි කරයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ට අයත් ස්කාගාරයකින් සුරා බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 506ක බදු මුදල් පැහැර හැර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කරමින් වැඩිදුරටත් කියා සිටියේ අදාල ස්කාගාරයට රා මැදීම සඳහා පොල් ගස් 72,000කින් සමන්විත කළුතර ප්‍රදේශයේ ඉඩමක් ලබා ගැනීමට ඉල්ලූම් කර ඇති අතර ඊට මැති ඇමතිවරුන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල වී තිබෙන බවයි.
ඊට පිලිතුරු ලබා දෙමින් ආණ්ඩුව ප්‍රකාශ කළේ ඕනෑම සමාගමකින් මුදල් ලැබීමට තිබේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එය අය කර ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම නීතිමය ගැටලූවක් පවතින්නේ නම් ප්‍රමාදයක් ඇති වන හෙයින් එය නීතිමය වශයෙන් විසදා ගැනීමට කටයුතු කරන බවද රජය ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළා.
මේ අතර, ස්ථාවර නියෝග වලට පටහැනිව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පවත්වාගෙන යන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඊට සභානයක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල, නියෝජ්‍ය කථානයක ආනන්ද කුමාරසිරි පිලිතුරු ලබා දුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ද මැදිහත් වුණා.
2019 අයවැය කාරක සභා අවස්ථාවේ 06 වන දින විවාදය මේ වනවිට පැවැත්වෙනවා.
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශ්‍ය සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.