Gossips

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තේ කවුද ?

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් දේශපාලනඥයින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් අදහස් පළ වනවා.
මේ පිළිබදව දැඩි අවධානයක් යොමුවූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 118 දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සමගයි.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් තමන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා ගත් බවට පළ වූ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
ඒ අනුව, අදාළ මැති ඇමතිවරුන්ගේ නම් හෙළිදරව් කිරීමේ අරමුණින් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ බැදුම්කර කොමිෂන් වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මදීරා රූපසිංහ කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඉල්ලීමක් කළහොත් එම වාර්තාව ලබාදීමේ හැකියාවක් පවතින බවයි.
මේ අතර, අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් නොගත් බව බොහෝ පිරිසක් පවසද්දී තමන් මුදල් ලබා ගත් බවට ඇතමුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරුන් 118 දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බවට බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන්නේ නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස අතරින් මුදල් ලබා ගෙන නැත්තේ 107 දෙනෙකු පමණයි.
තමන් මුදල් ලබාගෙන ඇති බවට මේ වනවිට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර මුදල් ලබා නොගත් බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 13 ක්.
එසේනම්, තවත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන තිබිය යුතු අතර, මන්ත්‍රීවරුන් 94 දෙනෙකු තමන් මුදල් ලබා නොගත් බව ප්‍රකාශ කළ යුතුයි.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, කතානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යවමින් අද සදහන් කළේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ ලැයිස්තුවක් පිළිබද ප්‍රකාශයට පත්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයම රට හමුවේ සැකයට භාජනය වී ඇති බවයි.
ඊට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම කතානායකවරයා සතුව පවතින බවයි ඔහු එමගින් අවධාරණය කර ඇත්තේ.
ඉදිරි පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන් 118 දෙනාගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් මන්ත්‍රී වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට කතානායකවරයා කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යොමුකළ ලිපියේ සදහන්.
මේ අතර, පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් ලබාදුන් මුදල් තම මැතිවරණ ව්‍යාපාරයට භාවිතා කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.