Gossips

ඇලෝසියස්ගෙන් ලැබුණු මුදල් ගැන, හිටපු ඇමති දයාසිරිගෙන් පැය 5ක ප්‍රකාශයක්

අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් රුපියල් මිලියනයක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන්, පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
අද උදෑසන 10.30ට පමණ මන්ත්‍රීවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ මීට පෙර සිදුකළ දැනුම්දීමකට අනුවයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට පසුගියදා කථාබහක් ඇතිවුණා.
කෙසේ වෙතත් පසුව ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මැතිවරණ සමයේ තමන්ට රුපියල් මිලියනයක චෙක්පතක් ලැබී තිබූ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම මගහරිමින් සිටින බවටද පසුගියදා මාධ්‍ය වාර්තා ද පළවී තිබුණා.