Gossips

ඇලෝසියස්ගෙන් ලැබුණු, මිලියන 3ක් වියදම් කළ බව සුජීව සේනසිංහ පිළිගනී

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3ක් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අද පිළිගත්තා.
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනු කළ වැඩිදුර විමර්ශන වාර්තාවට අනුව එම රුපියල් මිලියන 3 රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලැබී ඇත්තේ මැතිවරණය පැවැත්වීමෙන් පසුවයි.
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම රුපියල් මිලියන 3ක් අවස්ථා තුනකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ වාර්තා කළා.
ඒ, මහබැංකු බැඳුම්කර නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදියි.
ඉන් රුපියල් මිලියනයක චෙක් පතක් ඇමති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලවා මාරු කරවාගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඍජුව ලබාදුන් උපදෙස් අනුව බව වැඩිදුර වාර්තාවේ සඳහන්.
එහි දැක්වෙන්නේ අනෙක් චෙක්පත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ මැතිවරණ සහ මුදල් සම්බන්ධීකාරක විසින් පොලිස් නිලධාරීන් ලවා මාරු කර මුදල් ලබාගෙන ඇති බවයි.
මේ, අද පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ මැතිවරණ සමයේදී තම මිතුරන් විසින් එම චෙක් පත ආරක්ෂක නිළධාරියා ලවා මාරු කර ඇති බවත්, කථානායකවරයා හෝ වගකිව යුතු පුද්ගලයෙකු නැවත එම මුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් තමන් එම මුදල් ලබාදීමට සූදානම් බවයි.
කෙසේ වෙතත්, පසුගිය දා විදේශගතව සිට යළි දිවයිනට පැමිණීමෙන් පසු ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලිපිගොනු බැලීමෙන් අනතුරුව මුදල් ලබා ගත්තා ද යන්න පිළිබදව ප්‍රකාශ කළ යුතු බවයි.
ඔහු එසේ සඳහන් කළත්, අදාළ චෙක්පත් තුනම පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට හිමි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් මධ්‍යසාර නිෂ්පාදන සමාගම නිකුත් කර ඇත්තේ 2015 මහමැතිවරණය අවසන් වීමෙන් පසුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.
ඔවුන් අධිකරණයට ගොනු කළ වාර්තාවේ දැක්වෙන්නේ අංක 401139 දරණ රුපියල් මිලියනයක් වටිනා පළමු චෙක්පත මහමැතිවරණයෙන් දින 7කට පසුව නිකුත් කර ඇති බවයි.
එය ඊට පසු දිනම රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඍජුවම උපදෙස් ලබාදී සිය ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ලවා මාරු කර මුදල් ලබාගෙන ඇති බව ද එහි සඳහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට දෙවන චෙක්පත ලැබෙන්නේ 2015 වසරේ නොවැම්බර් 12 වන දායි.
ඒ, මහමැතිවරණය පවත්වා දින 87කට පසුවයි.
එසේම ඔහුට මහමැතිවරණයෙන් දින 227කට පසුව එනම්, 2016 වසරේ මාර්තු 31 වන දා රුපියල් මිලියනයක් වටිනා තුන්වන චෙක්පත ලැබී තිබෙනවා.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ඊයේ අධිකරණයට පෙන්වා දුන්නේ එදින ප්‍රශ්නගත බැදුම්කර නිකුතුවක් ද පැවති බවයි.
මේ අයුරින් මැතිවරණයක් නොමැති අවස්ථාවක බැදුම්කර නඩුවේ තුන් වන චූදිතයා වන පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 3ක් අවස්ථා තුනකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලැබීම ගැන රහස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
එසේම මෙම චෙක්පත් මාරු කර මුදල් ලබා ගැනීමට මැදිහත් වූ ඔහුගේ මැතිවරණ සහ මුදල් සම්බන්ධීකාරකවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ පර්පචුවෙල් සමාගමෙන් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ලේඛනවල සටහන් කිරීමක් හෝ ඒවා බැංකුවල තැන්පත් කිරීමක් සිදුනොකළ බවයි.
චෙක්පත් ලැබුණු ආකාරය තමන් නොදන්නා බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව රුපියල් මිලියන ගණනක චෙක්පත් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ලබාදුන්නේ ඇයි දැයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව ඊයේ අධිකරණයේදී කියා සිටියා.