Gossips

ඇල්ල ප්‍රාදේශීය සභාවේ රැස්වීම් ශාලා ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටෙයි

බදුල්ල දිස්ත්‍රික්කයට අයත්, ඇල්ල ප්‍රාදේශීය සභාවේ අලුතින් ඉදිකෙරුණු රැස්වීම් ශාලා ගොඩනැගිල්ලේ සිවිලිම ඊයේ රාත්‍රියේ කඩා වැටී තිබෙනවා.
දේශපාලන මැදිහත්වීම් මත මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුට ලබා දී තිබු බවට චෝදනා ද එල්ල වී තිබූ අතර කිසිදු ප්‍රමිතියකින් තොරව මෙම ඉදිකිරීම් සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
බදුල්ල දිස්ත්‍රීක්කයට අයත් ඇල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් රැස්වන මෙම නව සභා ශාලාව ඌව පළාත් මහ ඇමතිවරයා විසින් විවෘතකරන ලද්දේ 2018 වසරේ පෙබරවාරි මස 21 වැනිදායි.
එහෙත් පුදුම සහගත කරුන වන්නේ අළුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ සිවිලිම වසරකුත් මාස දෙකක් ගත වනවිට මුළු මනින්ම ගැලවී බිමට වැටීමයි.
ඊයේ රාත්‍රී කාලයේ සභා ශාලාවේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක මෙය කඩා වැටීම හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.
අද පෙරවරුවේ නිලධාරීන් පැමිණි කඩා වැටුනු සිවිලිම නිරීක්ෂණය කළා.
අප මේ පිළිබද තොරතුරු විමසීම සදහා ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වුයේ නැහැ.
ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිමල් රංජිත් මහතා ප්‍රකාශ කලේ මෙහි ඉදිකිරීම් සිදුවූයේ ප්‍රාදේශීය සභාව විසුරුවා එහි බලය කොමසාරිස්වරයෙකු යටතේ පැවති සමයේ බවයි.
එහිදී ඌව පළාතේ දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත්වීමෙන් මෙවැනි ඉදිකිරීම් බහුතරයක් ඔහුගේ හිතවතුන්ට ලබා දී ඇති බව ඔහු සදහන් කළා.
සිවිලිම කඩා වැටුණේ ප්‍රාදේශීය සභාවේ මෙම රැස්වීම් ශාලාව ද ඒ අතරින් එකක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.