Gossips

ඇඹිලිපිටියේ සභාපතිට සිර දඩුවම්

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වී සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල්ට අද මාස 03 ක සිරදඬුවමක් නියම වුණා.
ඒ, සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ශිරෝමි කාහින්ගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
චෝදනා දෙකක් යටතේ සභාපතිවරයාට එරෙහිව චෝදනා ගොනුකර තිබූ අතර, ඒ දෙකටම ඔහු වරදකරු වීම හේතුවෙන් මෙම දඬුවම් නියම කර තිබෙනවා.
රාජ්‍ය සේවකයෙකුට පහරදී තුවාල සිදුකිරීම යටතේ ඔහුට ගොනුකර තිබූ චෝදනාවට අදාළව වසරක සිරදඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරිය ඉන් මාස 03 ක් බරපතල වැඩසහිතව ගෙවී යාමට නියම කරනු ලැබුවා.
ඉතිරි මාස 09 ක සිරදඬුවම වසර 07 කට අත්හිටුවීමටයි ඇය නියෝග කළේ.
රාජ්‍ය සේවකයෙකුට සාපරාධි බලහත්කාරය පෑම සහ අඩන්තේට්ටම් කිරීමේ චෝදනාවට ඔහුට වසරක සිරදඬුවම් නියම කළ විනිසුරුවරිය එය වසර 05 කට අත්හිටුවනු ලැබුවා.
එමෙන්ම, චෝදනා දෙකට අදාළව රුපියල් 1500 බැගින් දඩ නියම කළ අතර, පහරකෑමට ලක්වු පොලිස් නිලධාරීයාට රුපියල් 30,000 ක වන්දි මුදලක්ද ගෙවන ලෙසයි ඇය නියෝග කළේ.
මෙම සිද්ධියේ දෙවන සැකකරු වන පනාමුරේ ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න ලක්මාල් නැමැත්තාට වසරක සිරදඬුවමක් නියම කළ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරිය එය වසර 05 කට අත්හිටුවනු ලැබුවා.
ඇඹිලිපිටිය – දඩුහැතැක්ම ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි පනාමුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සැකකාර සභාපතිවරයා පහරදී තිබුණේ 2013 වසරේ මැයි මස 26 වැනිදායි.
අද සිර දඩුවම් නියමවූ එම්.කේ. අමිල්, ඝාතනයට ලක්වූ දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය එම්.කේ. රංජිත් හෙවත් රංජි මල්ලිගේ පුත්‍රයායි.
එමෙන්ම ඔහු පසුගියදා කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට ගිනි අවියක් පෙන්වා බිරිඳ සමඟ එක්ව පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන්ගේ සොහොයුරාද වනවා.