Gossips

ඇමරිකාව ඉවත් වුවත්, ශ්‍රී ලංකාවට නිදහසක් නැහැ – දයාන් ජයතිලක

ඇමරිකා එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වීම හේතුවක් ලෙස දක්වා ශ්‍රී ලංකාවට ඒ සමග පවතින වගකීම් වලින් නිදහස් විය නොහැකි බව ආචාර්ය දයාන් ජයතිලක පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සදහා මානව හිමිකම් මණ්ඩලයේ බහුතරයක සහයෝගය ලබා ගැනීම අනිවාර්ය බවයි.
ඇමරිකාව, ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට තීරණය කළ බව එක්සත් ජාතීන් සඳහා වූ ඇමරිකානු නියෝජිත නිකී හේලි ජිනීවා හිදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ පසුගිය 19 වනදායි.
ගතවූ කාලය තුළ ඊශ්‍රායලය සම්බන්ධව මානව හිමිකම් කවුන්සිලය පක්ෂපාතීව කටයුතු කරන බවට එහිදී ඇය චෝදනා කළා.
එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත නිකී හේලි වැඩිදුරටත් සඳහන් කළේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව දේශපාලන න්‍යායන් මත කටයුතු කරන බවයි.
ඇමරිකාව කළ මෙම දැනුම්දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප්, රජයේ ඉහළ බලධාරීන් හමුවී තිබෙනවා.
එහිදී මෙරට ප්‍රතිසංවිධාන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධව ඇමරිකාව සහ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති සම යෝජනා පිළිබඳව සාකච්ඡා වූ බවයි කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වමින් 2015 සහ 2017 වසරේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර යෝජනා දෙකෙහි ඇති කරුණු ඉටුකරගැනීම සඳහා ඉදිරියටත් ශ්‍රී ලංකාවට පූර්ණ සහය දෙන බව ඇමරිකානු තානාපතිවරයා දැනුම්දී තිබෙනවා.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත්වීම සහ ශ්‍රී ලංකාව සමඟ ඉදිරිපත් කළ සම යෝජනාව පිළිබඳව දේශපාලනඥයින්, ආගමික නායකයින් මෙන්ම විද්වතුන් විවිධ අදහස් පළ කරනවා.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ජගත් සංවිධානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වන ආචාර්ය පාලිත කොහොන සහ ආචාර්ය දයාන් ජයතිලක ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.