Gossips

ඇමරිකාවේ නඩු ගැන ගෝඨාභය කතා කරයි

තමාට එරෙහිව ඇමරිකාවේ පවරා ඇති සිවිල් නඩු ඉදිරි ජනාධිපතිවරණය හා සම්බන්ධ කරගනිමින් සිදුකළ ක්‍රියාවක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සිය ඇමරිකානු සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඇමරිකානු පුරවැසියභාවය ඉවත් කර ගැනීමට තමන් එරටට ගිය බවත් එම කටයුතු සාර්ථක බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එහිදී තවදුරටත් ප්‍රකාශ කළා.
හිටපු ආරක්ෂ ලේකම්වරයා අද උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි ඊ.කේ. 650 යානයෙන් කටුනායක ගුවන්තොටුපලට පැමිණියා.
ඔහුව එහිදී පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින්.
එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අලූත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, රංජිත් සොයිසා, අරුන්දික ප්‍රනාන්දු, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම ආධාරකරුවන් ද එක්ව සිටියා.
පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයා ගුවන්තොටුපල පැමිණීමේ මගී පර්යන්තයේදී ආගමික වතාවත්වල ද නිරත වුණා.
කෙසේ වෙතත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු සංචාරය පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූයේ ඔහුගේ ඇමරිකානු සංචාරය අතරතුර එරට අධිකරණවල ඔහුට එරෙහිව නඩු පැවරූ බවට පළ වූ වාර්තා සමඟයි.
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බවට පසුගිය සඳුඳා තොරතුරු වාර්තා වුණා.
එමෙන්ම, 2007 වසරේදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකුට වධ හිංසා සිදුකළ බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය නිවේදනය කළේ.

rn