Gossips

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට කෝටි 624ක යුද ආධාර

ශ්‍රී ලංකාව සඳහා විදේශ හමුදා මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 39ක ආධාර ප්‍රදානය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එය රුපියල් කෝටි 624කට ආසන්න මුදලක්. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ඇමරිකානු කොංග්‍රසයේ අනුමැතියට යටත් වූ එම මූල්‍යාධාරය පරිහරණය කළ යුතු ආකාරය පිළිබදව ලක් රජය සමඟ සාකච්ඡා කරන බවයි.
බෙංගාල බොක්කේ ආරක්ෂක ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ මානුෂීය හා ආපදා ප්‍රතිචාර වැඩසටහන සඳහා අදාළ මූල්‍යාධාරය යොදා ගනු ඇති බව ඇමරිකාවේ අපේක්ෂාවයි.
මෙම හමුදා මූල්‍ය ආධාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඊට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියා – පැසිෆික් කලාපයේ සංචාරයක නිරත වූ බවයි.
ඉන්දු – පැසිෆික් කලාපය ඇමරිකානු ක්‍රමෝපාය ප්‍රමුඛත්වය හිමි කලාපයක් ලෙසයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හැදින්වූයේ.
එබැවින් එම කලාපයේ රටවල් සමඟ ඇමරිකාව ආරක්ෂක සබඳතා තර කර ගැනීමට අදහස් කරන බව කියා සිටියා.
එහිදී දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක අමතර මුදලක් වැය කිරීමට ඇමරිකාව සූදානම්.
මෙම මූල්‍යාධාරය මගින් බංග්ලාදේශය, ඉන්දුනීසියාව, පැසිෆික් දූපත්, වියට්නාමය ඇතුළු අග්නිදිග ආසියාතික රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද ආරක්ෂක සබඳතා තර කර ගැනීමට ඇමරිකාව අදහස් කරනවා.
සාමුද්‍රික ආරක්ෂාව, මානුෂීය සහ ආපදා සහය, සාම සාධක හැකියාවන් වර්ධනය මෙන්ම දේශසීමා හරහා සිදුවන අපරාධ මැඬලීමට මැඩලීමටත්, ඉන්දීය සාගරය සහ නැගෙනහිර ආසියාව සම්බන්ධ කරන වැදගත් මුහුදු මාර්ගයක ආරක්ෂාව තහවුරු කිරීමටත් හැකි වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.