Gossips

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ආධාර සමඟ කොන්දේසි

ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ඉදිරි වර්ෂය සඳහා ඇමරිකාව ලබාදෙන මූල්‍යාධාර යෝජනාවලිය එරට කොංග්‍රස් මණ්ඩලයේදී ඊයේ සම්මත වී තිබෙනවා.
ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.3ක් වන එම ආධාර වැඩසටහනට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇති අතර, ඒ අනුව එය ක්‍රියාවට නැංවීමට පියවර ගැනෙනු ඇති.
එහිදී ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 68.5ක් වෙන් කර ඇති අතර, ඉන් ඩොලර් මිලියන 35ක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීමේ වැඩසටහන් සඳහා වැය කිරීමට නියමිතයි.
එමෙන්ම අදාළ මූල්‍යාධාරය ලබාදීමට සමාගමීව කොන්දේසි පෙළක් ද ඉදිරිපත් කර තිබෙනවා.
අතුරුදන්වූවන් පිළිබද ගැටළුවලට පිළියම් යෙදීම, උතුරු – නැගෙනහිර හමුදාකරණය අවම කිරීම මෙන්ම ලිංගික අපචාරවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන මෙරට සාම සාධක භටයන් පිළිබද පරීක්ෂණයක් පැවැත්වීම ආදී කොන්දේසි ඊට ඇතුළත්.
එමෙන්ම, ශ්‍රී ලංකාවට අදාළ ආධාර මුදල ලබාදීමේදී ජගත් මානව හිමිකම් මණ්ඩල යෝජනාවට අනුකූලව යුද සමයේ සිදුවීම් පරීක්ෂා කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවන්නේ ද යන්න සොයා බලනු ඇති.
මෙරට ආරක්ෂක හමුදා සඳහා ද ඇමරිකානු ඩොලර් පන්ලක්ෂයක් මෙම මූල්‍යාධාරය යටතේ වෙන් කර ඇති අතර ඒවා විශේෂයෙන් මානුෂීය සහ ආපදා මෙහෙයුම්, පුහුණු සහ සාමුද්‍රික ආරක්ෂාව සඳහා යොදා ගැනීමට නියමිතයි.