Gossips

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සාර්ථකයි – දිවයිනට පැමිණි ගෝඨාභය කියයි

ඇමරිකානු පුරවැසියභාවය ඉවත් කර ගැනීමට තමන් එරටට ගිය බවත් එම කටයුතු සාර්ථක බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සිය ඇමරිකානු සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී ඔහු කියා සිටියේ තමාට එරෙහිව ඇමරිකාවේ පැවරුණු සිවිල් නඩු නිෂ්ප්‍රභ කිරීම සඳහා නීතිඥයින් මාර්ගයෙන් පියවර ගන්නා බවයි.
හිටපු ආරක්ෂ ලේකම්වරයා අද උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි යානයකින් කටුනායක ගුවන්තොටුපලට පැමිණියා.
ඔහුව එහිදී පිලිගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධණ විසින්.
එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අලූත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, රංජිත් සොයිසා, අරුන්දික ප්‍රනාන්දු, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම ආධාරකරුවන් ද එක්ව සිටියා.
පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයා ගුවන්තොටුපල පැමිණීමේ මගී පර්යන්තයේදී ආගමික වතාවත්වල ද නිරත වුණා.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු සංචාරය පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූයේ ඔහුගේ ඇමරිකානු සංචාරය අතරතුර එරට අධිකරණවල ඔහුට එරෙහිව නඩු පැවරූ බවට පළ වූ වාර්තාත් සමඟයි.
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බවට පසුගිය සඳුඳා තොරතුරු වාර්තා වුණා.
එමෙන්ම, 2007 වසරේදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකුට වධ හිංසා සිදුකළ බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය නිවේදනය කළේ.